පාසලේ ඓතිහාසික විකාශය
“ ප්‍රසිද්ධ ඉගැන්වීමේ අධ්‍යක්ෂතුමාණන් වහන්සේගේ නො. 3451 වර්ෂ 1913ක් වූ අප්‍රේල් මස 22 දින දරණ ආඥාවේ ප්‍රකාර බමුණුගම පාසල “වැස්ලියන් මිෂනාරි සමාගම” යටතේ 1913 වර්ෂයේ මැයි මස 09 වන දින දින ආරම්භ කෙරිණි.” බමුණුගම රජයේපාඨශාලාවේ ආරම්භය මෙසේ සනිටුහන් ව ඇත. බමුණුගම “ඉස්කෝලේ වත්ත” නමින් වර්තමානයේ හඳුන්වන ලද ඉඩමෙහි පිහිටි පෞද්ගලික නිවසක ආරම්භ කර පවත්වාගෙන යනු ලැබූ මෙම පාසලෙහි මුල්ම විදුහල්පතිතුමා වශයෙන් කටයුතු කරනු ලැබූයේ කේ.ජී. කුලසිංහ ආරච්චි මහතාය. පාසල ආරම්භ වී තුන් මසක් ගත වන විට එක් ගොඩනැගිල්ලක් පමණක් පැවතී විද්‍යාලයේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 102ක් පමණ විය.
“ඉස්කෝල වත්තේ ආරම්භ කළ පාසල වර්ෂ 1917 මාර්තු මස 01වන දින සිට ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාවක් බවට පත් විය. පාසල පවත්වාගෙන යාමට ස්ථිර ස්ථානයක අවශ්‍යතාවය වැඩි වත්ම බමුණුගම “අලුත්වත්තේ” පදිංචි එල්. ටී. ජී. කොරනේලිස් මහතා සිය “තමන්ගොඩ හේන” ඉඩම පාසලට පරිත්‍යාග කිරීමට කටයුතු කළේය.
ඉංග්‍රීසි පාලන සමය පැවති අවධියේ බ්‍රිතාන්‍ය මහ රජුගේ උපන්දිනය නිමිත්තෙන් 1920 සිට පාසලේ වාර්ෂිකව උත්සව පවත්වා ඇත. 1928 දී බාලදක්‍ෂ කඳවුරක් පවත්වාගෙන යනු ලැබීය. 1931 අගෝස්තු මස 08 වන දින පාසලේ අභ්‍යන්තර ශිෂ්‍ය සමිතියක්ද, 1933 දී ආදී ශිෂ්‍ය සංගමය පිහිටුවාගත් අතර, ගුරු - දෙගුරු සමිතියක්ද පාසලේ ක්‍රියාත්මක විය. 1935 සැප්තැම්බර් මස 10 වන දින පාසලේ ගොවි සමිතියක් පිහිටුවා ගනු ලැබීය. 3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා සිසු සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ ගොවි සමිතියේ ප්‍රතිඑලයක් ලෙස පාසල් අතර පැවති ගෙවතු තරඟ වලින් ජයග්‍රහණද ලබා තිබේ.
පාසලේ ප්‍රථම ක්‍රීඩා උත්සවය VI වන ජෝර්ජ් රජුගේ උපන්දිනය නිමිත්තෙන් 1937 වර්ෂයේ ජුනි මස 09 වන දින පවත්වා ඇත. 1940 දශකය ආරම්භ වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 180 දක්වා වර්ධනය විය. 1947 වර්ෂයේදී පාසලේ සිසුන් ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට ඇත. 1950 දී සමස්ථ ලංකා සෞඛ්‍ය සතිය නිමිත්තෙන් පවතී තරඟයෙන් සහතික පත් 17ක් සහ තෑගී 23ක් බමුණුගම කනිෂ්ඨ විද්‍යාලයට හිමි විය.
1956 සැප්තැම්බර් මස 01 වන දින නව ගොඩනැගිල්ලකට මුල් ගල තැබීම බමුණුගම ග්‍රාම සංවර්ධන සමිතියේ හා රජයේ ආධාර ඇතිව සිදු කරනු ලැබිණ. මෙම ගොඩනැගිල්ල 1957 ජුනි මස 02 වන දින එවකට අධ්‍යාපන ඇමතිව සිටි විජයානන්ද දහනායක මහතා අතින් සිසු අයිතියට පත් කරන ලදී. 1964 දී හා 1972 දී පාසලට තවත් ගොඩනැගිලි 02ක් ලැබී ඇත. 1960න් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රමික දියුණුවක් පෙන්වා ඇත. 1965 දී අ.පො.ස. (සා.පෙ.) විභාගයට සිසුන් ප්‍රථම වරට සහභාගී වී ඇත.
1977 දී මෙතෙක් කනිෂ්ඨ පාසලක්ව පැවති බමුණුගම විදුහල බමුණුගම මහා විද්‍යාලය බවට පත් විය. එම වසරේදීම පාසලේ සිසුන් සඳහා නිල ඇඳුම් හා පාසල් ලාංඡනය සම්මත කර ගත් අතර, පාසල් ගීයද නිර්මාණය කෙරිණි. 1982 දී අහිනව බුද්ධ ප්‍රතිමා මන්දිරයක්ද, 1986 දී ළමා උයනක්ද ඉදි කරන ලදී. පාසලට විදුලි බලය ලබා දීමද 1986 වර්ෂයේදීම සිදුව ඇත. 1994 වර්ෂයේදී පොතක බාලදක්ෂ වැඩසටහන හා සාන්ත ජෝන් වැඩසටහන ආරම්භ විය.
1995 න් පසු D.S.D. ව්‍යාපෘතිය යටතේ පාසල සීඝ්‍ර වශයෙන් සංවර්ධනය කරන ලදී. 1997 11.30 වන දින එවකට අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මහතා අතින් නව ගොඩනැගිලි සිසු අයිතියට පවරන ලද අතර, එම වර්ෂයේ සිට මාර/ බමුණුගම නවෝද්‍යා පාසල බවට පත්විය.
2013 වර්ෂයේ සියවස සම්පුර්ණ වන විට පාසලට භෞතික සම්පත් රාශියක් ලබා ගැනීමට හැකි විය. පාසල මාර්ගය කාපට් ඇතිරීම, සියළු ගොඩනැගිලි අලුත්වැඩියාව, නව දෙමහල් ශ්‍රවනාගාරය, ක්‍රීඩාපිටිය නවීකරණය මේ අතරින් ප්‍රධාන වේ.
වර්ෂ 2016 දී මාර/ බමුණුගම (නවෝද්‍යා) මහා විද්‍යාලය “ලඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන ඇති අතර, මේ යටතේ විශාල භෞතික මෙන්ම මානව සංවර්ධනයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ යටතේ දැනට තාක්‍ෂණ ගොඩනැගිල්ල, ප්‍රාථමික ක්‍රියාකාරකම් කාමරය ඉදිවෙමින් පවතී. පෙර පවතී ළිඳ පානීය ජාල අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවුණ බැවින් නව ළිඳක් පසුගිය වසරේ ඉදි කෙරිණි.
2017 වසරේ ශිෂ්‍යත්ව ගොවිපොළක් දකුනු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විදුහලට ලබා දීමත්, එයට සමගාමීව දින තුනක ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. ගොවිපොළ කලාප හා දිස්ත්‍රික්ක තරඟාවලිවලින් ජයග්‍රහණ ලබා ඇත.
2016 අ.පො.ස. සා.පෙළ ප්‍රතිඑල අනුව පාසැල 91%ක මට්ටමක පැවති අතර, උසස් පෙළ ප්‍රතිඑල මත සිසුවියන් දෙදෙනෙකු සරසවි වරම් ලබා ඇති අතර, 2018 ශිෂ්‍යත්ව ප්‍රතිඑල සමත් ප්‍රතිශතය 97.2%ක් ද, කඩ ඉම පසු කල ශිෂ්‍ය ප්‍රතිශතය 19.4%ක් ද විය. එය පෙර තත්වයට වඩා ඉහළ මට්ටමක් පෙන්නුම් කෙරේ.
ඒ අනුව 2019 වසර අවසන් වන විට තාක්‍ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරිණි ප්‍රාථමික ක්‍රියාකාරකම් ගොඩනැගිල්ලද සිසු අයිතියට ලබාදීමට හැකි විය උපදේශන කාමරය සඳහා අවශ්‍ය මේස, පුටු, කබඩ්, ඡායාරූප යන්ත්‍ර ආදී උපකරණ ලැබී ඇත.
2017 වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ගොවිපොළක් ආරම්භ කිරීමට දායකත්වය සැපයූ අතර, එහි ගැමි ගෙයක් ඇතුළු ගොවිපොළක් ක්‍රියාත්මක කෙරුණි. එයට සමගාමීව කොට්ඨාසයේ පාසැල් අතර ශිෂ්‍යත්ව ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. දැනට එම ගෙවත්තෙහි සංවර්ධනය කර, එහි ආදායම පාසල් සංවර්ධන ගිණුමට බැර වේ.
පාසලේ ජල හිගය සපුරාලමින් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නව ළිඳක් ඉදිකර එම අවශ්‍යතාවයද සපුරා දෙන ලදී.
පසුගිය වර්ෂය මගින් සෞන්දර්ය අංශය මගින් සිදුකරන ලද “පොසොන් බැති ගී සරණිය”වැඩසටහන වෙනුවට 2018 වර්ෂයේ නව මුහුණුවරක් ගනිමින් සෞන්දර්ය අංශය මගින් “ජන ගී ප්‍රසංගය” වැඩසටහන ඉතාමත් සාර්ථකව වැඩි දෙනාගේ ප්‍රසාදයට ලක්වූ වැඩසටහනක් විය.
පරිසර සංවේදීතා වැඩසටහනට අනුව අප පාසලේ කසළ කළමනාකරණය, ගොවිපොළ සංවර්ධනය ආදිය මේ වර්ෂය තුල සිදුවෙමින් පවතී.
2022 කොමර්ෂල් බැංකුව අනුග්‍රහය යටතේ පරිගණක සංවර්ධනය කරන ලදි.ගෘහ විද්‍යාගාරය, ගණිතාගාරය, විද්‍යාගාරය හා 1, 2 වසර පන්ති කාමර ඉගෙනුම් පරිසරයකට සුදානම් කිරීම.එළිමහන් පන්ති කාමර සැකසීම.12 ශ්‍රේණිය සිසුන්ගේ ව්‍යාපෘතිය යටතේ ආරක්ෂිත වැට දික් කිරීම.cctv කැමරා පද්ධති වැඩි දියුණු කිරීම.
1913 මැයි මස 09 වන දින තබන ලද පාසලේ මුල්ම ලොග් සටහන .....
|
ආරම්භ කළ වර්ෂය |
1913 මැයි 09 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ.ජී.කුලසිංහ ආරච්චි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාර/බමුණුගම මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ස්කෝලෙ වත්ත |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1913 මැයි 09 |